උලමා මරණයේ පණිවිඩකරුවෙක්ද ?
පිටපත: චලිතන්ගී බංඩාර
සිය පුතණුගේ පීතෘත්වය සැක කල ස්වාමියා ඔහු ඝාතනය කල පුවත කන වැකුනු මාතාව ලයෙහි උපන් දාරක ස්නේහය දරා ගත නොහී වන වැද තම දිවි තොර කර ගත්තී එකී වනයට අරක් ගත් යක්ෂයෙක් දෙවියෙක් නොහොත් කිනම් හෝ අමනුෂ්ය බලවේගයක් ඕ තොමෝ ගේ දුක්ඛිත ආත්මය පක්ෂි වෙසකට අරක් ගන්වන්නේය.දරු දුකින් වැලපෙන ඇගේ විලාපය අසුභ පෙර නිමිත්තකැයි කී මිත්යා විශ්වාසය කෙතරම් බලවත් වීද යත් ශතවර්ෂ ගනනාවක් මුළුල්ලේ උක්ත පක්ෂියා නොහොත් උලමාගේ විලාපය වනාන්තරයෙන් නික්මී දියුණු යැයි සම්මත මානවයාගේ මනසේ බියසන් හැඩවීය.
වර්ශ 1681 තරම් වූ ඈත අතීතයේ දී බ්රිතාන්ය ජාතික රොබට් නොක්ස් රාත්රියේදී ගැඹුරු වනාන්තරයෙන් යක්ෂ කුරුල්ලෙකුගේ හඩක් නැගෙන්නේ යැයි උල්මා පිළිබඳ වූ පළමු බටහිට වාර්තාව තැබීය.මෙසේ මෙම ගුප්ත සත්වයාගේ අනන්යතාවය වසර හාරසීයයකට අධික කාලාන්තරයක් මුළුල්ලේ පරික්ෂාවට ලක්ව ඇති නමුදු කාලීනව කරන ලද නිරීක්ෂණ හේතුවෙන් ගම් වාසීන්ට බියකරු සිහින ගෙන ආ බියජනක ආමන්ත්රණයන්ගේ වරදකරු Bubo nipalensis හෙවත් Spot – bellied eagle owl නැමැති බකමූණු විශේෂයක් බවත් මොවුන් මෙරට හැරුනු විට දකුණු ඉන්දියාවේ බටහිර ප්රදේශ දක්වාත් හිමාලය සිට තායිලන්තය , ලාඕසය , චීනය සහ ගිණිකොණ ආසියාතික රටවල් දක්වාත් පැතිරී ඇති බවත් වාර්තා විය.
අළු පැහැයට හුරු දුඹුරු පැහැ මෙම දුර්ලභ පක්ශියාගේ කාල වර්ණයෙන් දිදුලන තීක්ෂණ දෑස් කොනින් ඇරඹී දෙපසට දික් වන කන් ආවරිත කලු පැහැ පිහාටු ගොනුව කැපී පෙනෙන ලක්ෂණයකි.ශක්තිමත් පාද , අදුරු අළු කහ පැහැති ඇඟිලි අග වූ තියුණු නඛර , වක් වූ කහ පැහැ හොටය , දක්ෂ දඩයක්කරුවෙකුගේ ප්රතිරූපයක් මවා පායි.සිරුරේ දිග 51cm – 63 cm ද , බර 1300 g – 1500 g පමණ වන මොවුන්ගේ පිටුපස සහ ඉහළ පියාපත් වඩාත් තද දුඹුරු පැහැයක් දරන අතර උදර පෙදෙස වඩාත් සුදුමැලිය.උරස් පෙදෙසේ කළු සහ සුදු තිරස් රේඛා උදර සහ වලිග පෙදෙසේ දී හෘදයාකාර ලප බවට පත් වන අයුරු අපූරුය.ප්රේමයේ සංඛේත සිරුරේ ගැවසි ගත් මේ ප්රේමණීය සත්වයාට අමිහිරි හඩක් තිබූ පමණින් යක්ෂත්වයක් ආරූඪ කිරීම අභාග්යයක් නොවන්නේද .රාත්රියේ වනාන්තරය හරහා සිසාරා ආශ්රිත ගම්මාන පුරා දෝංකාර දෙන මරණීය ඇමතුමක් බදු වූ ඒ ශෝකානුකූල කෑගැසීම වරෙක උස්ව නැගී පසුව ක්රමක්රමයෙන් ස්වරයෙන් වැටේ.තත්පර දෙකක පරතරයක් සහිතව ගැඹුරින් කෙරෙන මෙම විලාපයන් වේගවත්ව බොහෝ දුර පැතිරේ.විවෘත ස්ථාන වලට වඩා ගන වනාන්තරයේ වාසය කරන මොවුන්ට පුළුල් සහ සංකීර්ණ හඩක් තිබීම සාමාන්ය දෙයකි.එසේම මොවුන් නගන එකම හඩ මෙය නොවන බවද වාර්තා වේ.කෙසේ නමුත් තම වර්ගයේ එකෙකු වෙනුවෙන් පෙදෙස දෙවනත් කරමින් කෙරෙන උලමෙකුගේ හැඩීම කන වැකෙන මිනිස් සිත් සැලෙද්දී කොහේ හෝ ලැග සිටින උන්ගේම එකෙකු එය ප්රේමණීයව පිළිගෙන ප්රතිශබ්ද නගනු ඇත.මෙලෙස ගොඩනැගෙන පක්ෂි ප්රේම සංවාද මිනිසුනට මරණීය පණිවිඩ ගෙනෙන්නේ කෙසේදැයි විමසිය යුතුය.
Spot – bellied eagle owl හෙවත් උලමාගේ ගැහැණු සත්වයා වසරකට වරක් ගස් බෙනයක හෝ අත් හැර දැමූ කූඩුවක සුදු පැහැති වටකුරු ඕවලාකාර එක් බිජුවක් ලා රකිද්දී පිරිමි සත්වයා අසල ගසක ලැග සෝදිසියෙන් සිටින්නේය.සහකාරියට ආහාර සැපයීමට මෙන්ම ඇය සුළු වේලාවකට පිටව ගිය හොත් ඒ අතර තුර බිජුව රැකීමටද මොහු කැපවී සිටින්නේය.අහිංසක බියසුළු පක්ශි විශේෂයක් වන නමුදු අනතුරකදී තම පැටවා රැකීමට ඉතාමත් ආක්රමණශීලී වන බවද වාර්තා වේ.පිරිමි සහ ගැහැණු සත්වයන් රූපීයව සමාන වේ.එහෙත් පිරිමි සත්වයා ප්රමාණයෙන් තරමක් විශාලය.
මෙරට දී උල ලේනා ලෙසද හදුන්වන මොවුන්ට සෑම වර්ගයකම පාහේ භූමි වාසස්ථාන වල වාසය කල හැකි අතර සදාහරිත වැසි වනාන්තර හෝ තෙතමනය සහිත පතනශීලී වනාන්තර වඩාත් ප්රිය කරයි.නිශාචරයෙකි.දිවා කල අදුරු රුක් ගොමු තුල පත්ර අතර සැගව සිටින උලමන් මිනිස් වාසයෙන් බොහෝ දුරස් වූ ගන වනාන්තර තුල සවස් කාලයේදී ද සරනු සූක්ෂ්ම දෑසකට කළාතුරකින් හසු විය හැක.තම දෘෂ්ටික වපසරියට ඔබින සේ රාත්රී ගනදුර පැතිරෙද්දී බලසම්පන්නව මෙන්ම නිර්භීතව වනයේ සරන මෙකී විලෝපිකයා නිසැකයෙන්ම වනාන්තර ආහාර දාමයන්ගේ ඉහළින්ම සිටිනු ඇත.පුළුල් පරාසයක පැතිරුණු ආහාර රටාවක් පැවතිය හැකිමුත් බිය වන්නන් කරදර නොගත යුත්තේ එය කුඩා පක්ෂීන් , මීයන් , හාවුන් , කුඩා උරගයන් සහ කුඩා මත්ස්යයින්ට පමණක්ම සීමා වන බැවිනි.
අහිංසක මෙන්ම දුර්ලභ පක්ෂියෙකු වන උලමා නාම මාත්රිකව හදුනා නොගත් වනෙහි සරන ගැමියෙකුගේ පින් කල දෑස් කලාතුරකින් හෝ සොබාදහමේ ඒ අපූර්ව සුන්දරත්වය විදින්නට ඇත.
ඉතින් මිතුර , උලමා නොහොත් උල ලේනා ගුප්ත යැයිද භයංකාර යැයිද මරණයේ පණිවුඩ ගෙනෙන්නේ යැයිද නොකියමු.කාල වර්ණ දෑසේ ගැබ් වූ අහිංසකත්වය ද , සිරුර වැසීගත් සුන්දරත්වය ද , හඩෙහි වූ අනන්යතාවය ද , ආශ්චර්යයක් ලෙස දකිමු…
Kingdom – Animalia
Phylum – Chordata
Class – Aves
Oder – Strigiformes
Family – Strigidae
Genus – Bubo
Species – Bubo nipalensis