කුරුළු ලොව අනංගයා

පිටපත: හිරුනි මල්ෂානි වීරසිංහ 

whatsapp-image-2020-08-07-at-07-49-15

Ploceidae නම් කුලයට අ‍යත්වන මෙම කුරුළු අනංගයා කවුරුන්ද?… ඒ කුරුළු ලොව ඉතාමත් දැකුම්කළු මෙන්ම ඉතා නුවණක්කාරී අයුරින් තම කූඩුව සකසන වඩු කුරුල්ලාය.

ඉන්දියානු මහද්වීපය හා දකුණු ආසියාව වාස භුමි කරගත් මෙම කුරුල්ලන් කුඩූ තනන්නේ ජනපද වශයෙනි.ශ්‍රී ලංකාව තුළ වඩු කුරුලු විශේෂ දෙකක් දැකිය හැකියි. එනම් රුක් වඩු කුරුල්ලන්(Baya Weaver) හා පන් වඩු කුරුල්ලන්( Streaked Weaver) යන විශේෂ දෙක වේ.

කුරුළු ලොව ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍රගන්‍ය නිමැවුමක් වන්නා වූ තම කූඩුව තැනීම සඳහා ඔවුන් යොදා ගනුයේ අමු ගොයම් කොළ හා තණකොළ ආදියයි. ප්‍රථමයෙන් එහි ගෝලාකාර ව්‍යුහය පිරිමි වඩු කුරුල්ලා විසින් ඉදි කරන අතර, එහි වැඩ නිමවීමට පෙර තම සහකාරිය සොයා ගැනීමට උත්සුක වේ. අඩක් නිමවන ලද තම කුඩුවේ එල්ලී සිටිමින් රංගනයේ යෙදෙන වඩු කුරුල්ලා, අභිජනනයට සුදුසු කිරිල්ලිය තමාට ලැබෙන තුරු පසුවේ. එලෙස තම සහකාරිය සොයා ගන්නා මෙම වඩු කුරුල්ලන්, ඇය හා එක්ව කුඩුවේ ඉතිරි වැඩ සම්පුර්ණ කරන්නේය. එනම් එහි යට කොටස තනන්නේය. අමු තණකොළ, ගොයම් කොළ හේතුවෙන් මුල් කාලයේ මෙම කුඩු කොළ පැහැයෙන් දිස් වුවද, පසුව ඒවා දුඹුරු වර්ණයෙන් නිරීක්ෂණය කළ හැකියි. ඉහළ කොටස ගෝලාකාර ලෙසින් ද, පහත කොටස නළයක් ආකාරයෙන් ද  වන සේ, ඉතා ශක්තිමත් අයුරින් නිම වන්නා වූ කුඩුවෙහි ඇතුළු වීම සඳහා වන විවරය පහතින් නිර්මාණය වන්නේය.

දින ගණනක් වෙහෙස වී වඩු කිරිල්ල හා එක්ව ඉතා සුක්ෂම ලෙස කුඩුවේ පිටත සිට ඇතුළතටත්, අතුළත සිට පිටතටත් ලෙස එය වියන්නේය. ඉතින් මේ වඩු කුරුල්ලන් අනංගයන් වන්නේ මන්ද!.. කූඩුව නිම කොට අවසන් වූ පසු කිරිල්ලිය එහි බිත්තර දැමීමට සැරසෙන අතර, පිරිමි වඩු කුරුල්ලා එහි රැඳෙන්නේ නැත. පෙර මෙන් තවත් කුඩුවක් තැනීම අරඹන ඔහු, අඩක් නිම වූ කුඩුවේ පැද්දෙමින් යළි රංගනයේ යෙදී තවත් කිරිල්ලක් අකර්ශණය කර ගන්නේය. මෙසේ නැවත නැවත අනඟ රැඟුම් පාන නිසාවෙන් වඩු කුරුල්ලන් කුරුළු ලොව අනංගයන් වන්නේය.

තවත් වැදගත් කරුණක් වන්නේ, නිම කළ කුඩුවල ගෝලාකාර කොටසේ රඳවන්නා වූ මැටි ගුලියයි. රාත්‍රී කාලයේදී කුඩුව තුළ වන අඳුර පළවා හැරීම සඳහා, එම මැටි ගුලිය මත කණාමැදිරියන් ගෙන ගොස් අලවන බවට මතයක් පවතී. කෙසේ වුව මැටි ගුලියක් තැබීමෙන් හෝ කූඩුව තුළ මැටි ආලේප කිරීමෙහි විද්‍යාත්මක වැදගත්කම ලෙස සොයාගෙන ඇත්තේ, වර්ෂාවෙන් හා සුළඟ නිසා කුඩුවේ දෙපසට වන චලනයන් වළක්වා කුඩුව ශක්තිමත් ලෙස රැඳවීමයි.

රුක් වඩු කුරුල්ලන් ජලාශ අශ්‍රිතව කුඩු තනන අතර, එම කුඩුවේ නළයක් වැනි කොටස සැලකිය යුතු තරම් දිගකින් සාදයි. වර්ෂය පුරා තම වර්ගයා බෝ කරන මොවුන්ගේ බිත්තර සුදු පැහැතියි. මෙම විශේෂය ජනපද ලෙසින්,බොහෝ විට එකම ගසක් වාසභූමි කරගනිමින් ජීවත්වේ. කැපී පෙනෙන ඇහි බැමක් පවතින අතර, පිරිමි රුක් වඩු කුරුල්ලාගේ ළය හා කිරුළ දිලිසෙන කහ පැහැයෙන් ද, මුහුණ, උගුර තද දුඹුරු පැහැයෙන්ද, උඩුකය දුඹුරු හා යටිකය සුදු පැහැයෙන් ද යුක්ත වේ. ගැහැණු රුක් වඩු කුරුල්ලන් හා පරිණත නොවූ පිරිමි වඩු කුරුල්ලන් පෙනුමෙන් සමාන වන්නේය. ඔවුන් සතු වන්නේ එතරම් දීප්තිමත් නොවන ශරීරයකි. උඩුකය ලා කහ පැහැ දුඹුරු වර්ණයෙන් හා යටිකය ලා දුඹුරු පැහැයෙන් යුතුයි.

පන් වඩු කුරුල්ලන් යනු පන් මන්ඩි අශ්‍රිතව ගැවසෙන වඩු කුරුළු විශේෂයයි. මොවුන්ගේ කූඩුවෙහි නලයක් වැනි කොටස එතරම් දිගකින් යුක්ත නොවන්නේය. පෙබරවාරි – ඔක්තෝම්බර් කාලය තුළ අභිජනන කාර්යෙහි නිරත වන අතර ඉතා පැහැදිළි වූ සුදු ඇහි බැමක් මොවුන් සතුවේ. පිරිමි පන් වඩු කුරුල්ලන්ගේ කිරුල කහ පැහැයෙන්ද, මුහුණ, උගුර කළු වර්ණයෙන් ද, උඩුකය දුඹුරු හා යටිකය සුදු පැහැයෙන් හා ළය පෙදෙසේ තද දුඹුරු පැහැ ඉරි සහිතවද දැකිය හැකිවේ. ගැහැණු පන් වඩු කුරුල්ලන් හා පරිණත නොවූ, එනම් අභිජනන වයසේ නොවන පිරිමි වඩු කුරුල්ලන් දුඹුරු පැහැති වේ. වී, කුරක්කන් වැනි ධාන්‍ය ප්‍රධාන වශයෙන් ද, කෘමින් වර්ගද වඩු කුරුල්ලන් සඳහා ආහාර වේ.

කුරුළු ලොව අනංගයා මෙන්ම එහි මාහැඟි වඩුවාද වන වඩු කුරුල්ලා සැබවින්ම ස්වභාව ධර්මයේ අපුර්ව නිර්මාණයකි.

You may also like...